Skip to main content

Featured

විද්‍යා ප්‍රබන්ධ ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමි! ​Welcome to the Unknown: My Journey into Science Fiction

ආයුබෝවන්! (Hello Everyone!) 👽 ​විශ්වය යනු අප නොදන්නා අබිරහස් ගබඩාවකි. කාලය, අවකාශය සහ මානව විඥානය (Consciousness) අතර ඇති සම්බන්ධය සොයා යන ගමනක් ලෙස මම විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) රචනා කරමි.​ මම කුෂාන් ප්‍රබෝධ . ශ්‍රී ලංකාවේ සිට විද්‍යා ප්‍රබන්ධ ලියන ලේඛකයෙක්මි. ​මෙම බ්ලොග් අඩවිය (Blog) හරහා මම බලාපොරොත්තු වෙන්නේ: ​🌌 මගේ කෙටි කතා සහ නවකතා කොටස් ඔබ වෙත ගෙන ඒමට. ​🧬 ක්වොන්ටම් භෞතික විද්‍යාව සහ බෞද්ධ දර්ශනය අතර ඇති සම්බන්ධය ගැන කතා කිරීමට. ​🗿 හෙළ තාක්ෂණය සහ අතීත අබිරහස් ගැන ගවේෂණාත්මක ලිපි පළ කිරීමටයි. ​මගේ නවතම විද්‍යා ප්‍රබන්ධ කතා මේ වන විට ජාත්‍යන්තර සඟරා කිහිපයක් ( Nature Futures, Clarkesworld ) වෙත යොමු කර ඇති අතර, ඒවායේ විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ​විද්‍යාව සහ කලාත්මක බව මුසු වූ අමුතු ලෝකයකට පියනගන්න එකතු වන්න! ​ English Summary: Welcome to my official blog! I am Kushan Prabodha , a Science Fiction writer from Sri Lanka. Here you will find short stories, articles on ancient mysteries, and explorations into the depths of the universe. Stay tuned for updates on my ...

පිය අනාවැකිය (The Father's Prophecy) - Sci-Fi Short Story by Kushan Prabodha

පිය අනාවැකිය

විශ්වයේ ඝන අන්ධකාරය මැද, තනිවූ යකඩ යෝධයෙකු වන් 'මෝසෙස්' යානය නිහඬව පාවෙමින් තිබුණි. පාපන්දු පිටි දහයක් තරම් විශාල මේ දැවැන්ත යානය හුදෙක් ලෝහ ගොඩක් නොව, පෘථිවි තලයේ ජීවත් වන බිලියන ගණනක් මිනිසුන්ගේ දහඩිය, කඳුළු සහ අසීමිත ධනය දියකර හැදූ, මිනිස් ඉතිහාසයේ මිල අධිකම සිහිනයයි. ජාති, ආගම්, දේශ සීමා මායිම් දියකර හැර, මුළු ලෝකයක් එකාවන්ව දෑස් දල්වා බලා සිටින මේ තීරණාත්මක මොහොතේ, ඒ සියලු බර කරට ගෙන හුස්ම ගන්නා එකම ජීවියා වූයේ කපිතාන් අන්ද්‍රවිස්කි පමණි.

හිස් අසුන් සිය ගණනක් මැද, පාලක කුටියේ තනිවූ ඔහුට තම හුස්ම ගන්නා හඬ පවා ඇසුණේ මහා ඝෝෂාවක් ලෙසිනි. පෘථිවියේ සිටි දක්ෂතම නියමුවන් දහස් ගණනක් අතරින්, මේ අසීරුම මෙහෙයුම වෙනුවෙන්ම තෝරාගත්, උපතින්ම ගගනගාමීත්වය දෑතේ රේඛාවල කොටාගෙන පැමිණි අති දක්ෂතම නියමුවා වූයේ ඔහුය. එහෙත්, මුළු මිනිස් සංහතියම නියෝජනය කරමින් මේ ඓතිහාසික ගමනට උර දුන් ඔහුගේ දෑත්, අද යන්තමින් වෙව්ලමින් තිබුණි.

ඔහු ඉදිරියෙන් දිස්වූයේ මනුෂ්‍ය වර්ගයා සොයාගත් මහා ආශ්චර්යයයි. ඒ, පෘථිවිය අසල ස්වභාවිකව නිර්මාණය වී තිබූ "අයින්ස්ටයින් - රෝසන් පාලම" හෙවත් අභ්‍යවකාශ පණු කුහරයයි. ආලෝකයේ වේගයෙන් ගියත් වසර මිලියන ගණනක් ගතවන ගමනක්, ඇසිපිය හෙළන සැණින් යා හැකි විශ්වයේ එකම කෙටි පාර එයයි.

"මෝසෙස් යානය ක්ෂිතිජය වෙත ඇතුල් වීමට තව තත්පර තුනයි..."

පාලන මධ්‍යස්ථානයේ යාන්ත්‍රික හඬත් සමඟ අන්ද්‍රවිස්කි පාලක යෂ්ටිය තදින් අල්ලා ගත්තේය.

"තුනයී.... දෙකයි.... එකයි........."

යානය ගිලගත්තේ ආලෝකයේ සහ කාලයේ සුළි කුණාටුවකි. සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි මට්ටමේ ගුරුත්වාකර්ෂණ බලයක් (G-Force) අන්ද්‍රවිස්කිගේ සිරුර තෙරපන්නට විය. ඔහුගේ පපුව මතට අලියෙකු පය තැබුවාක් මෙන් හුස්ම හිරවීගෙන ආවේය. දෑස් ඉදිරියේ පෙනෙන විශ්වය, දිය සායම් සිතුවමක් මතට වතුර බාල්දියක් හැලුවාක් මෙන් දියවී, විකෘති වී, වර්ණ එකිනෙක මුසු වී ගලා යන්නට විය.

ඒ බොඳ වී යන වර්ණ රටාව දකිද්දී, අන්ද්‍රවිස්කිගේ මනස වේදනාව මගහැර කාලය හරහා ආපස්සට දිව ගියේය.

ඒ, රුසියාවේ අධික ශීතල දෙසැම්බරයකි.

හිම කුණාටුවකට මැදිව, ගැහෙමින් ගෙදර දිව ආ පුංචි අන්ද්‍රවිස්කිව මව විසින් උණුසුම්ව පිළිගත්තාය.

"දෙයියනේ! මේ දරුවා ගැහෙනවා... පුතා, මේක තාත්තාගෙ පරණ තුවාය. මේක පොරවගන්න..."

ඇය අත තිබූ දිරා ගිය පරණ තුවාය අන්ද්‍රවිස්කි අතට ගත්තේය. කාලයක් තිස්සෙම පාවිච්චි කර තිබූ නිසා එහි නූල් දිරා, මල් මෝස්තර සහ ඉරි කැබලි එකිනෙක මුසු වී පාට මැකී ගොස් තිබුණි. එහෙත් ඔහු එය මූණේ ඔබා ගත්තේය. එහි තවමත් රැඳී තිබුණු තාත්තාගේ දහඩිය සුවඳත්, දුම්කොළ සුවඳත් මිශ්‍ර වූ රළු උණුසුම, ඒ දිරා ගිය රෙදි කැබැල්ලට පණ දුන්නේය.

"තාත්තා හිටියනම්..."

වර්තමානයේ, යානය තුළ සිටින අන්ද්‍රවිස්කිගේ දෑස් අගින් ගිළිහුණු කඳුළක් ඔහුගේ කන අවට සීතල කරමින් කෙස් අතරින් ඉහළට ගලා ගියේය.

"මේ විශ්වයත් හරියට අර තාත්තාගේ පරණ තුවාය වගේමයි නේද?" ඔහුට සිතුණි. පණු කුහරය හරහා වේගයෙන් ඇදෙද්දී පිටත පෙනෙන තරු රටා, අර තුවායේ මැකී ගිය මෝස්තර මෙන් එකිනෙක මුසු වී බොඳ වී යමින් තිබුණි.

❖ ❖ ❖

"තග්... තග්... තග්..."

හදිසියේම යානයේ යකඩ බිත්ති දෙදරුම් කෑවේය. අන්ද්‍රවිස්කිගේ දැක්ම (Vision) අඳුරු වීගෙන ආවේය. ඇඟිල්ලක්වත් සොලවාගත නොහැකි තරම් දැඩි ගුරුත්ව බලයක් ඔහුව අසුනට තද කරද්දී, ඔහු අපහසුවෙන් බෙල්ල හරවා පාලක පුවරුව දෙස බැලුවේය.

ඔහුගේ ලේ නහර සීතල වී ගියේය.

"... තා... ත්තා...!"

යානය දෙදරුම් කන වේගයට හෝ, අන්ද්‍රවිස්කිව පොඩි කර දමන ගුරුත්ව බලයට හෝ කිසිදු සම්බන්ධයක් නැතිව, ඉතාමත් සැහැල්ලුවෙන්, පාලක පුවරුවේ යකඩ බාල්කයක් මත වාඩි වී ඔහුගේ පියා ඔහු දෙස බලා සිටියේය. ඉරී ගිය පැරණි කබායක් ඇඳ සිටි ඔහු, උද්‍යානයක බංකුවක වාඩි වී සිටින තරම් සන්සුන් ලීලාවෙන් තම පුතු දෙස බලා උන්නේය.

"මම දන්නවා උඹට මතක් වුණේ මොකක්ද කියලා..."

පියාගේ හඬ යානයේ ඝෝෂාව පරයා අන්ද්‍රවිස්කිගේ මනස තුළ දෝංකාර දුන්නේය.

"අම්මා දුන්න පරණ තුවාය නේද?"
"තාත්තා... කොහොමද...?"

අන්ද්‍රවිස්කි කෙඳිරුවේය. ඔහුගේ පෙනහළු හැකිලී යමින් තිබිණි.

"පුතේ, උඹ හිතන දේ මම දන්නවා. උඹ මේ යන්නේ අපි හොයාගත්ත කෙටි පාරෙන්, ආලෝක වර්ෂ මිලියන හැටපහක් ඈතට. උඹට ඕනි එහේ ඉඳන් අපේ පෘථිවිය දිහා බලන්න. ඩයිනසෝරයන් ඇවිදින යුගය, පෘථිවියේ ආරම්භය ඇස් දෙකෙන් දකින්න."

පියා බාල්කයෙන් බැස අන්ද්‍රවිස්කිගේ අසුන අසලට පැමිණ, අසුනට බර දී පහත් විය.

"ඒත් පුතේ... උඹට බැහැ."
"ඇයි බැරි...? අපිට... අපිට තියෙනවා විශ්වයේ දියුණුම දුරේක්ෂ..."

අන්ද්‍රවිස්කි වේදනාවෙන් මිරිකෙමින් තර්ක කළේය.

"උඹ අර ජනේලෙන් දකින දේ දිහා බලපන් පුතේ. අර බොඳ වෙලා යන තරු රටා දිහා බලපන්."

පියා ජනේලය දෙසට අත දිගු කළේය.

"ඒක... ඒක හරියට තාත්තාගේ අර පරණ තුවාය වගේමයි..."

අන්ද්‍රවිස්කිගේ සිහිසුන් මනස මිමිණුවේය.

"හරියටම හරි පුතේ. අම්මා දුන්න ඒ පරණ තුවායේ මෝස්තර කාලයත් එක්ක සේදිලා ගියා වගේ, මේ ආලෝකයත් දුර යන්න යන්න දියවෙලා යනවා. ආලෝකය කියන්නේ දත්ත ගබඩාවක් තමයි. ඒත් ආලෝක වර්ෂ මිලියන හැටපහක් තිස්සේ විශ්වයේ දූවිලි, ගුරුත්වය එක්ක හැප්පිලා එනකොට ඒ පින්තූර බොඳ වෙනවා. උඹ එහේ ගිහින් බලද්දී, ඩයිනසෝරයන්වවත්, ගස්වැල්වත් උඹට පෙනෙන්නේ නෑ. උඹට පෙනෙන්නේ අර තුවායේ මෙන් එකට මුසු වෙලා, බොඳ වෙලා ගිය පාට ගොඩක් විතරයි."

අන්ද්‍රවිස්කිගේ බලාපොරොත්තු බිඳ වැටුණේ යානයටත් වඩා වේගයෙනි. භෞතික විද්‍යාවේ ඔහු ඉගෙනගත් 'විභේදන සීමාවන්' (Diffraction Limits) පියාගේ සරල ගැමි උපමාව ඉදිරියේ හිස නැමුවේය.

"එතකොට තාත්තේ... මේ තරම් වියදම් කරලා, මම මගේ ජීවිතේ පරදුවට තියලා ආවේ... මුළු ලෝකයක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ... මම හිස් අතින් යන්නද?"
"ඔව් පුතේ. ඈත ඉඳන් බලන කිසිම කෙනෙක්ට අතීතය ඇත්තටම දකින්න බෑ. උඹට පෙනෙන්නේ ඡායාවක් විතරයි."

අන්ද්‍රවිස්කිගේ දෑස් පියවෙමින් තිබුණි. ඔක්සිජන් හිඟ කම නිසා පියාගේ රූපයත්, අර බොඳ වූ තරු රටාවත් එකිනෙක මුසු වී මැකී යමින් තිබුණි.

"තාත්තේ... තාත්තේ මාව දාලා යන්න එපා... මට කියන්න කොහොමද මම අතීතය දකින්නේ?"

පියාගේ රුව වියැකී යද්දී, ඔහු අවසන් වරට අන්ද්‍රවිස්කිගේ කනට කොඳුරා යමක් කීවේය. එය විද්‍යාත්මක උපදෙසකට වඩා, සොබාදහම විසින් මිනිසාට දෙන ලද අභියෝගයක් වැන්න.

"පුතේ, දුරේක්ෂ වලින් අතීතය හොයන්න එපා... තුවායේ පාට මැකුණට, ඒකේ රැඳුණු තාත්තාගේ සුවඳ මැකෙන්නේ නෑ වගේ, සැබෑ අතීතය දකින්න ඕනිනම් ක්‍රමය වෙනස් කරපන්..."

අන්ද්‍රවිස්කිගේ සිහිය සම්පූර්ණයෙන්ම ගිලිහී යාමට මොහොතකට පෙර පියාගේ අවසන් වදන් දෝංකාර දුන්නේය.

"දකිනවා කියන්නේ විඳිනවා කියන එක නෙවෙයි පුතේ...
උඹට ඇත්තටම අතීතය දකින්න ඕනිනම්...
හදපන් නියම 'කාල යන්ත්‍රයක්'..."
- නිමි -
© 2026 L.P. Kushan Prabodha Liyanapathirana

Comments

  1. අමුතු එකක්..ඒකත් මරූ

    ReplyDelete
    Replies
    1. ආදරෙයී සහෝදරයා 💕❤

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා 💕❤

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා 💕❤

      Delete
  4. මාරයි සහෝදරයා ♥️

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා 💕❤

      Delete

Post a Comment