Skip to main content

Featured

විද්‍යා ප්‍රබන්ධ ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමි! ​Welcome to the Unknown: My Journey into Science Fiction

ආයුබෝවන්! (Hello Everyone!) 👽 ​විශ්වය යනු අප නොදන්නා අබිරහස් ගබඩාවකි. කාලය, අවකාශය සහ මානව විඥානය (Consciousness) අතර ඇති සම්බන්ධය සොයා යන ගමනක් ලෙස මම විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) රචනා කරමි.​ මම කුෂාන් ප්‍රබෝධ . ශ්‍රී ලංකාවේ සිට විද්‍යා ප්‍රබන්ධ ලියන ලේඛකයෙක්මි. ​මෙම බ්ලොග් අඩවිය (Blog) හරහා මම බලාපොරොත්තු වෙන්නේ: ​🌌 මගේ කෙටි කතා සහ නවකතා කොටස් ඔබ වෙත ගෙන ඒමට. ​🧬 ක්වොන්ටම් භෞතික විද්‍යාව සහ බෞද්ධ දර්ශනය අතර ඇති සම්බන්ධය ගැන කතා කිරීමට. ​🗿 හෙළ තාක්ෂණය සහ අතීත අබිරහස් ගැන ගවේෂණාත්මක ලිපි පළ කිරීමටයි. ​මගේ නවතම විද්‍යා ප්‍රබන්ධ කතා මේ වන විට ජාත්‍යන්තර සඟරා කිහිපයක් ( Nature Futures, Clarkesworld ) වෙත යොමු කර ඇති අතර, ඒවායේ විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ​විද්‍යාව සහ කලාත්මක බව මුසු වූ අමුතු ලෝකයකට පියනගන්න එකතු වන්න! ​ English Summary: Welcome to my official blog! I am Kushan Prabodha , a Science Fiction writer from Sri Lanka. Here you will find short stories, articles on ancient mysteries, and explorations into the depths of the universe. Stay tuned for updates on my ...

දහනව වන සන්නිය: සයිබර් යක්ෂයාගේ ආවේශය රචනය: ඇල්.පී. කුෂාන් ප්‍රබෝධ ලියනපතිරණ

 


දහනව වන සන්නිය: සයිබර් යක්ෂයාගේ ආවේශය

රචනය: ඇල්.පී. කුෂාන් ප්‍රබෝධ ලියනපතිරණ


මේ ගෙවී යන්නේ වර්ෂ 2160 හි අවසාන සති කිහිපයයි. පසුගිය වසරවල සීඝ්‍ර ලෙස සිදු වූ මුහුදු මට්ටමේ ඉහළ යාම නිසා, අද වන විට අම්බලන්ගොඩ පැරණි නගරයෙන් භාගයක්ම ඇත්තේ මහ මුහුදේ ජල කඳට යටින් ය. කලෙක වෙස්මුහුණු කලාවට නම් දැරූ ඒ ඉපැරණි නගර වීදී, අද නිහඬව නිදන්නේ සාගර පතුලේ පාසි බැඳුණු නටබුන් අතරය. ගොඩබිමේ ඉතිරි වී ඇති කොටස මත ඉදි වූ 'නියෝ-අම්බලන්ගොඩ' (Neo-Ambalangoda) නගරය, අහස උසට නැගුණු වීදුරු කුළුණු වලින් සහ දෑස් නිලංකාර කරන නියොන් එළි වලින් සමන්විත විය.

මේ නව ලෝකයේ මිනිසුන් පිළිකාව හෝ හෘද රෝග වැනි භෞතික ව්‍යාධීන්ගෙන් පීඩා වින්දේ නැත; නැනෝ තාක්ෂණය විසින් ඒ සියල්ල දශක ගණනාවකට පෙර ජයගෙන තිබුණි. එහෙත්, මුළු ලෝකයම වෙලාගෙන තිබුණේ ඊටත් වඩා බිහිසුණු, අලුත්ම වසංගතයකි. එය හැඳින්වූයේ 'සයිබර් සන්නිය' (Cyber-Psychosis) ලෙසයි.

යමෙකු උපදින මොහොතේම ඔහුගේ මොළයට බද්ධ කරනු ලබන 'නියුරෝන චිප්' (Neural Chips) එක හරහා තත්පරයකට ගලා එන ටෙරාබයිට් ගණනක අසීමිත දත්ත ප්‍රමාණය දරාගත නොහැකිව, මිනිසුන්ගේ විඥානය බිඳ වැටෙමින් තිබුණි. යථාර්ථය සහ මායාව වෙන් කරගත නොහැකිව ඔවුහු උමතු වූවන් ලෙස වීදි පුරා සැරිසැරූහ.

සඳ ඇති රැයක නගරයේ අඳුරු කෙළවරක, මුහුදු රළ පහර වදින පැරණි ප්‍රදීපාගාරයක් අසල 'විශ්ව ගුරුන්නාන්සේ' ජීවත් වන නිවස පිහිටා තිබුණේය. ඔහු හුදෙක් සාම්ප්‍රදායික යකැදුරෙක් නොවීය; ඔහු සම්මානලාභී ස්නායු විද්‍යාඥයෙකි (Neuroscientist). ඔහුගේ රසායනාගාරය පුරා පැතිර තිබුණේ දුම්මල සුවඳත්, පිළිස්සුණු විද්‍යුත් පරිපථවල (Burnt Circuits) ගන්ධයත් මුසු වූ අමුතුම පරිසරයකි. එහි බිත්ති පුරා එල්ලා තිබුණේ හොලෝග්‍රෑම් තිර නොව, සියවස් ගණනක් පැරණි, දූවිලි බැඳුණු යක්ෂ වෙස් මුහුණු ය.

"ඩොක්ටර් විශ්ව, ඉක්මන් කරන්න! තවත් රෝගියෙක්. මොළයේ තරංග (Brainwaves) අස්ථාවරයි!"

ස්වයංක්‍රීය දොර විවෘත කරගෙන ඇතුළු වූයේ රොබෝ හෙදියකි. ඇය තල්ලු කරගෙන ආ චුම්බක ස්ට්‍රෙචරය (Magnetic Stretcher) මත සිටි තරුණයා අත් පා ගැහෙමින්, විකෘති හඬින් කෑ ගසමින් සිටියේය. ඔහුගේ දෑස් සුදු වී තිබූ අතර, කටින් සෙම දමමින් ඔහු වාතයේ පාවෙන අදෘශ්‍යමාන යක්ෂයන් සමඟ පොර බදන්නට විය. නූතන වෛද්‍ය විද්‍යාවට ඔහු සුව කළ නොහැකි විය. ඔහුගේ මනස දරුණු ඝනයේ ඩිජිටල් වෛරසයකින් (Malware) ආක්‍රමණය වී තිබුණි.

විශ්ව, සන්සුන්ව තරුණයා දෙස බැලුවේය. ඔහු තම අතේ තිබූ විද්‍යුත් ටැබ්ලටය පසෙකලා, පැරණි පුස්කොළ පොතක් පෙරළා බැලුවේය.

"මේක දහඅට සන්නියෙන් එකක් නෙවෙයි..." විශ්ව ගැඹුරු හඬින් මිමිණුවේය. "මේකෙ තියන විදියට් මේ දහ නවවෙනි සන්නිය,    'ඩිජිටල් කෝල සන්නිය'."

ඔහු තම රහස් ආයුධය අතට ගත්තේය. එය වෙස් මුහුණකි. නමුත් එය කදුරු ලීයෙන් කැපූවක් නොවේ. එය 'ග්‍රැෆීන්' (Graphene) සහ 'ක්වොන්ටම් වීදුරු' වලින් නිමවා, ඇතුළතින් සිහින් ආලෝක තන්තු (Fiber Optics) දහස් ගණනක් දිවෙන, තාක්ෂණයේ සහ කලාවේ විස්මිත සංකලනයකි.

"අපේ මුතුන් මිත්තෝ බොරු කළේ නෑ," විශ්ව බියෙන් බලා සිටින රොබෝ සහායකයාට පැවසීය. "පැරණි යක්ෂ මුහුණු වල තිබුණේ නිකන්ම පාට රටා නෙවෙයි. ඒ ජ්‍යාමිතික හැඩතල (Fractal Geometry) සහ වර්ණ සංයෝජන කියන්නේ මිනිස් මොළයේ 'ඇල්ෆා සහ තීටා තරංග' ක්ෂණිකව වෙනස් කරන්න පුළුවන් ප්‍රබල දෘශ්‍ය කේතයක් (Visual Code). යක්ෂයා කියන්නේ පිටින් එන අමනුෂ්‍යයෙක් නෙවෙයි; ඒක අපේම මනසේ ඇතිවන රසායනික විකෘතියක්."

විශ්ව, 'මහා සයිබර්  යක්ෂයාගේ' නවීන සයිබර් වෙස් මුහුණ (Cyber-Mask) හෙමින් සීරුවේ පැළඳ ගත්තේය.

කාමරයේ ප්‍රධාන විදුලි පහන් නිවී ගියේය. ඒ වෙනුවට, වෙස් මුහුණේ නෙරා ගිය විශාල දෑස් වලින් තද රතු පැහැති ලේසර් කිරණ විහිදෙන්නට විය. විශ්ව අතට ගත්තේ සාම්ප්‍රදායික යක් බෙරයක් නොව, ඩිජිටල් සංඛ්‍යාත නිකුත් කරන බෙරයකි (Sonic Drum). ඔහු එය වාදනය කරන විට නිකුත් වූයේ ශබ්දයක් නොව, මිනිස් මොළයේ ගැඹුරුම ස්නායු කම්පනය කළ හැකි බයිනෝරල් තරංග (Binaural Beats) මාලාවකි.

"තෙරුවන් බෙලෙන්... විශ්ව ශක්ති බලෙන්... දත්ත ජාලයන් බිඳ...!"

ඔහුගේ මන්ත්‍රය විද්‍යාව සහ ගුප්ත ශාස්ත්‍රය මුසු වූ අමුතුම හඬක් විය. විශ්වගේ වෙස් මුහුණෙන් නිකුත් වූ සංකීර්ණ ආලෝක රටා, රෝගියාගේ ඇස් හරහා ඔහුගේ මොළයේ දෘශ්‍ය ස්නායු (Optic Nerves) දිගේ ගමන් කළේය. රෝගියාගේ මනස ආක්‍රමණය කර තිබූ ඩිජිටල් වෛරසය, වෙස් මුහුණේ තිබූ 'ප්‍රති-වෛරස් කේතය' (Anti-Virus Algorithm) හමුවේ දියවී යන්නට විය.

පැරණි තොවිලයකදී ආතුරයා ඉදිරියේ යක්ෂයා බිය වී පලා යන්නාක් මෙන්, රෝගියාගේ මොළයේ ස්නායු ජාල නැවත යථා තත්ත්වයට පත් (Reboot) වෙමින් තිබුණි. යන්ත්‍රවල තිර මත රතු පැහැයෙන් දිස්වූ අනතුරු ඇඟවීම්, සෙමින් කොළ පැහැයට හැරුණි.

මිනිත්තු කිහිපයකට පසු රෝගියාගේ ගැහෙමින් තිබූ සිරුර නිසල විය. ඔහු ගැඹුරු නින්දකට වැටුණි.

විශ්ව තම වෙස් මුහුණ ගලවා මේසය මත තැබුවේය. ඔහුගේ නළලත දහදිය බිඳු වලින් තෙත් වී තිබුණි.

"තාක්ෂණය කොච්චර දියුණු වුණත්, මිනිස් මනස තාම අයිති පරණ ලෝකෙට," විශ්ව තමාටම කියා ගත්තේය. "අපි තාක්ෂණයෙන් දෙවියන් වෙන්න හැදුවට, ඇතුළේ ඉන්නේ තාම බියගුලු මිනිසා විතරයි."

ඔහු රසායනාගාරයේ වීදුරු ජනේලයෙන් පිටත බැලුවේය. ඈත ක්ෂිතිජයේ, අඳුරු සාගරය යට ගිලී ගිය අම්බලන්ගොඩ පැරණි පන්සලේ කොත, සඳ එළියට යන්තමින් දිලිසෙනු ඔහු දුටුවේය.

බිත්තියේ එල්ලා තිබූ 'ගරා යකාගේ' මුහුණ දෙස ඔහු නැවතත් බැලුවේය. එහි විශාල දෑස් සහ විවෘත මුව, නූතන මිනිසාගේ නොසන්සිඳෙන තෘෂ්ණාවට සහ ආත්මීය හිස්කමට සරදම් කරන්නාක් මෙන් පෙනුණි. අපි වෙස් මුහුණු පාවිච්චි කරන්නේ යක්ෂයන් එලවන්නට යැයි සිතුවද, ඇත්තෙන්ම අපි කරන්නේ අප තුළම සිටින යක්ෂයාට මුහුණ දීමයි.

සාගර පතුලේ සිට එන දිය රැළි හඬත්, නියොන් නගරයේ යන්ත්‍ර හඬත් අතර මැද, විශ්ව ගුරුන්නාන්සේ මද සිනහවක් පෑවේය. තාක්ෂණය යනු අලුත් වෙස් මුහුණක් පමණි; නමුත් වෙස් මුහුණ පිටුපස සිටින්නේ ඒ පරණ මිනිසාම ය.


— නිමි —

මහසෝනා එක්ක සටනක මෙතනින් බලන්න...

Comments